Saturday, March 16, 2019

අරමුණක් ඇතිව පාඩම් කරමු


අපි හැමෝටම හීන තියෙනවා. හැබැයි අපි වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් 99% ම ඒ හීන සැබෑ කරගන්නේ නැතුවම මැරිලා යනවා.   එකට එකම හේතුව හීන හැබෑ කරන සරල ක්‍රම ගැන නොදන්නා කම. ආකර්ෂණ නිතිය කියන්නේ අපිට තියෙන ඕන හීනයක්, සැබෑවක් කරගන්න භාවිත කරන්න පුළුවන් බොහොම ප්‍රභල ක්‍රමයක්. ආකර්ෂණ නීතියෙන් කියන්නේ අපි වැඩිපුර හිතන දේ අපිට ළගා වෙනවා කියන එක. 

උදාහරණයක් විදිහට මම හැම වෙලේම හිතනවානම් මට මෝටර් බයිසිකලයක් ගන්න ඕන කියල, මොනා හරි ක්‍රමේකින් ඒක ගන්න මගක් පෑදෙනවා. අතේ තියෙන රුපියල් සීයෙන් පටන් අරගෙන, ඒ වෙනුවෙන් සල්ලි ටික ටික එකතු කරනකොට අපි නොහිතන විදිහට අපිට අර අරමුණට යන්න උදවු ලැබෙනවා. මේකේ අනිත් පැත්තත් ඒ වගේමයි. අපි පාරේ යන මෝටර් බයිසිකලයක් දිහා බලලා "මට තියෙන වියදම් එක්ක කවදාවත් bike එකක් නම් ගන්න වෙන එකක් නෑ" කියල හිතුවොත් කවදාවත් ඒක ගන්න ලබෙන්නෙම නෑ. ආකර්ෂණ නීතිය ගැන අපි වෙනම ලිපියක ගැඹුරෙන් කතා කරමු. මේ දුන්නේ ඒ ගැන පොඩි අදහසක්. එහෙමනම් පලවෙනි කතන්දෙරේ තමයි, හරියටම අපි හිතන දේම අපිට ළගා වෙනවා. 

දෙවැනි කතන්දරේ තමයි "අරමුණ පැහැදිලි වෙන්න ඕන" කියන එක. අපේ අරමුණ 100% පැහැදිලි වෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට හිතනවා, මට ලොකු ලොකු අරමුණු ගැන හිතන්නත් තහනම් කියල. අපිට ඒ අරමුණු වලට ළගා වෙන්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන හිතන්න කිසි තහනමක් නෑ. අපිට ඕන දෙයක් හිතන්න පුළුවන්. දැන් අපි කලින් ගත්ත මෝටර් බයිසිකලේ උදාහරණේ ගමුකෝ. අපි ගන්න යන මෝටර් බයිසිකලේ මොන පාටද, එකේ ගාන කීයද, පාවිච්චි කරපු එකක්ද නැත්තන් ගන්නේ අළුත් එකක්ද, පාවිච්චි කරපු එකක් නම් එකේ number එක මොන ඉංග්‍රීසි අකුරු එන එකක්ද මේ හැම කරුණක්ම දවස ගානේ එකතු කරන්න ඕන. අපේ අතේ මේ වෙනුවෙන් තියෙන්නේ රුපියල් සීය උනත් අපි දැන් දන්නවා හරියටම ගන්නේ මෙන්න මේක කියල. 

දැන් අපි මේ කතන්දර දෙක අපේ පාඩම් කරන වැඩේට දාන්නයි යන්නේ. සාමාන්‍ය පෙළ ලියල ගෙදර ඉන්න කෙනෙක්ගෙන් අපි ඇහුවොත් උසස් පෙළට කරන්නේ මොනාද කියල ගොඩක් අය කියන්නේ ප්‍රථිපල බලලා එකක් තෝරාගන්නවා කියලා. උසස් පෙළ කරන කෙනෙක්ගෙන් ඇහුවොත් මොන campus එකටද යන්නේ කියල ගොඩක් වෙලාවට කියන්නේ ප්‍රථිපල ආවම යන්න පුළුවන් එකකට යනවා කියලා. එහෙම හරියන්නේ නෑ. අපි හරියටම දැනගන්න ඕන අපේ අරමුණ මොකක්ද කියලා. ඒ අරමුණ විශේෂිත එකක් වෙන්න ඕන. උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. මට ඕන කොහොම හරි  වෛද්‍යවරයෙක් වෙන්න. එහෙම නම් මට පුළුවන් සාමාන්‍ය පෙළ කරනකොටම මගේ අරමුණ හරියට හදාගන්න. පළවෙනියට අපි file එකක් හදාගන්න ඕන.  මේ file එකේ අපි අපේ අරමුණට අදාල සියලු තොරතුරු එකතු කරන්නයි යන්නේ. ඊට පස්සේ දවසට විනාඩි 10ක් වැය කරලා මම යන වෛද්‍ය විද්‍යාලය ගැන මොකක් හරි කරුණක් මේ file එකට එකතු කරන්න. 

පලවෙනි දවසේ මම තීරණය කරනවා මං යන වෛද්‍ය විද්‍යාලය මොකක්ද කියලා.  ලංකාවේ තියෙන වෛද්‍ය විද්‍යාල ලැයිස්තුව අරගෙන බලලා මම තීරණය කරනවා  පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයට යනවා කියල.  දැන් මේ ගැන මට හොයන්න කරුණු ගොඩක් තියෙනවා. පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයට යන්න නම් උසස් පෙළට මොන විෂයන්ද කරන්න ඕන? ඒ විෂයන් ටික කරන්න සාමාන්‍ය පෙළ ලකුණු කියක් ගන්න ඕනද? උසස් පෙළට ලකුණු කියක් ගන්න ඕනද? අවුරුද්දකට කී දෙනෙක් මේ campus එකට ගන්නවද? අපේ ඉස්කෝලේ කවුරු හරි පේරාදෙණිය campus එකේ ඉන්නවද? එතකොට මං යන faculty එකට ලංකාවෙන්ම කියක් ගන්නවද? මේ campus එක සිතියමේ තියෙන්නේ කොතනද? මේ හැම දෙයක්ම දවසට එක කරුණ ගානේ හොයන්න. එකතු කරන්න. තව පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයේ ජායාරුප, පාඨමාලා විස්තර හැම දේම. බොරුවට facebook ගිහින් කලේ කනවා නම් පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ යාලුවෝ ටිකක් හදාගෙන අනිත් වැඩක් නැති අය අයින් කරලා දාන්න. අවුරුදු දෙකක් තිස්සේ අපි ගමන් කරන්නේ එකම එක අරමුණකට. අපේ අරමුණ 100% ක් ම පැහැදිලියි. ඒක ඇතුලේ පැටලිලි නෑ. ඒක ඊතලෙකින් තැන දෙක තුනකට විදින්න බෑ. විදින්න පුළුවන් හරියටම ඉලක්කය බලලා එක තැනකට විතරයි. ඒ ඉලක්කය කොතනද කියල අපි විදින්න කලින් දැනගෙන තියෙන්නම ඕන.

මේ විදිහට කලොත් ඔබ හිතන විශ්ව විද්‍යාලයේ එකේ ඔබ හිතන පීඨයට යන එක මහා ලොකු වැඩක් නෙවෙයි. 

මතක තියාගන්න. නිශ්චිත අරමුණක් හදා ගැනීම කියන්නේ පාඩම් කරන එකේ එක අංගයක් විතරයි. ඒකට මුළු දවසම එහෙම වියදම් කරන්න යන්න එපා. දවසට හරියටම විනාඩි 10 ක් විතරයි.     

ඔබ අම්මෙක් තාත්තෙක් නම් ඔබේ දරුවාව අනාගතේ නිශ්චිත අරමුණකට යොමු කරන්න දරුවට උදවු කරන්න. මේක පොඩි කලේ ඉදන්ම කරන්න පුළුවන්. වැල යන යන අතට මැස්ස ගහලා හරියන්නේ නෑ.  අපිට ඕන තැනට මැස්ස ගහලා වැල ඒ දිගේ යවන්න ඕන. එතකොටයි සාර්ථක වෙන්නේ. 

Saturday, March 9, 2019

ඔබේ දරුවත් පාසල් යනවද? එසේනම් මේ ලිපිය වැදගත් වේවි.



පහුගිය දවසක මම ගියා මගේ යාලුවෙකුගේ ගෙදර. එයට ශිෂ්‍යත්වේ ලියන්න ඉන්න දරුවෙකුයි 8 වසරේ වගේ තව දරුවෙකුයි ඉන්නවා. කොහොම හරි කතාව අතරේ මම දැක්කා මේ දරුවෝ දෙන්න පාඩම් කරන පොත් මේසේ. මේසේ උඩ පුදුම පොත් ගොඩක්. මම නිකමට දරුවා කතාවට අල්ලාගෙන මොනාද මෙච්චර තියෙන පොත් කියල බැලුවා. ගොඩක් ඒවා ලියන පොත්. පෙර පාසලේ ඉදන් පොඩි දරුවා 4 වසරට වෙනකල් ලියපු පොත්. තව ලොකු දරුවා 7 වසර වෙනකල් ලියපුවා. ඒ වගේම අච්චු පොත් ගොඩක්. තව පරණ ශිෂ්‍යත්වේ අමතර පොත් වගයක්. ඉස්කෝලේ වයසේ පත්තර. තව නව කතා පොත් දෙක තුනකුත් එතන.

මේ සිද්ධියෙන් පස්සේ මම පොඩ්ඩක් කල්පනාවෙන් ඒ ගැන හොයල බැලුවම අනිත් 90% කගේ ගෙවල් වලත් තත්වේ ඕකම තමයි. ඇත්තටම මෙහෙම පොත් ගොඩ ගැහුවම ළමයි විභාගේ පාස් වෙනවද? පාස් වෙනවා කෙසේ වෙතත් ළමයින්ට පොත් අතෙන් අල්ලන එකත් එපා වෙනවා පොත් ගොඩ දැක්කම. දරුවාට තේරෙන්නේ නෑ මේ තියෙන්නේ වැඩකට නැති පොත් ගොඩක් කියල. එයා හැම වෙලේම කල්පනා කරන්නේ මෙච්චර පොත් ගොඩක් පාඩම් කරලා ඉවර කරන්නේ කොහොමද කියල. ඒක අපි හිතනවට වඩා ලොකු මානසික පීඩනයක්.

පාඩම් කරද්දී අපේ මතකෙට යමක් හරියට ගියාම ආයේ ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ. 4 වසරේ ඉන්න කෙනෙකුට හෝඩි පොත් මොකටද? එයාට ආයේ අකුරු අමතක වෙන්නේ නෑ. 7 වසරේ ඉන්න කෙනාට 6 වසරේ පොත් ඕනද? 6 වසර පාස් නිසානේ එය 7 වසරට ආවේ? ඔයාගේ දරුවාගේ පන්තියේ උගන්නන්නේ විෂයන් 8 යි නම් එයාට ඕන ලියන පොත් 8 යි. අච්චු පොත් 8 යි. එච්චරයි. අනිත් සියලු පොත් අදම කාමරෙන් අයින් කරන්න. බලන්න පොත් 16 ක් කියන්නේ කොච්චර පොඩ්ඩක් ද? ඒ ටික දැක්කම හිතට කොච්චර නිදහසක් දැනෙනවද අනේ මට මේ ටික නේද පාඩම් කරන්න තියෙන්නේ කියලා?

මේ ලිපිය කියවන ඔයා සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන කෙනෙක් නම් මේ වැඩේ තමන්ටම කරගන්න පුළුවන්. මෙසේ පිරෙන්න ගොඩගහගෙන ඉන්න පොත් කන්ද කාමරෙන් එළියට දාල, අත්‍යවශ්‍යම පොත් ටික විතරක් අතට ගත්තම විභාගේ පාස් වෙන්න හිතට අමුතු ධෛර්යයක් එනවා. අනවශ්‍ය දේ ඉවත් කරලා අවශ්‍ය දේ පිළිවෙලට තියාගන්න එක කළමනාකරණයේ වැදගත්ම අංගයක්.

මේ පියවර තව දුරටත් සංවර්ධනය කරලා, මතකේ රැදිලා නැති කරුණු විතරක් වෙනම අරගෙන පාඩම් කරලා, කාලය ඉතුරු කරගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ ගැන අපි පස්සේ වෙනමම ලිපියකින් කතා කරමු.


වැරදි ඉරිදාට


අපි හැමෝගෙම ළඟ අපේ දියුණුව, සාර්ථකත්වය වලක්වන මොකක් හරි වැරද්දක් තියෙනවා. ඒ වැරැද්ද කොහොම හරි නතර කරන්න ඕන කියන අදහසත් අපි හැමෝගෙම හිත්වල තියෙනවා. දෙසැම්බර් 31 වෙනිදා, අලුත් අවුරුද්දට කලින් දවසේ, උපන් දිනේට කලින් දවසේ ඒ වගේම මාසේ අන්තිම දවසෙත් ගොඩක් අය හිතනවා හෙට ඉදන් නම් මම මේ වැරැද්ද කරන එක නතර කරනවමයි කියලා. හැබැයි ඉතින් දවස් තුනක් යනකොට අර පරණ පුරුද්ද අයෙමත් පටන් ගන්නවා.

එහෙම නම් අපි මේකට මොකද කරන්නේ?

අවුරුදු ගානක් අපි පුරුදු වෙලා හිටපු ඒ දේවල් එක දවසින් වෙනස් කරන්න යනවා කියන්නේ හරියට එක දවසින් කෝටිපතියෙක් වෙන්න උත්සහ කරනවා වගේ වැඩක්. ගොඩක් වෙලාවට ඒ ක්‍රමේ අසාර්ථක වෙන්නේ අන්න ඒ නිසයි. එහෙම නම් අපි කරන්න උත්සහ කරන්න ඕන එක පාර සාර්ථක වෙන්න නෙවෙයි. අපි උත්සහ කරමු  දවසෙන් දවස සාර්ථකත්වයේ මාවතට ලඟා වෙන්න.

“වැරදි ඉරිදාට” කියන්නේ තමන් කරන වැරදි අවම කරගෙන සාර්ථකත්වයේ මාවතට ලඟා වෙන්න අපිට කරන්න පුළුවන් හොඳම ප්‍රයෝගික ක්‍රමයක්. මේකෙදි අපි කරන්නේ අපි දිනපතා කරන වැරදි ඉරිදාට විතරක් කරන්න දාගන්න එක. උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. මට විභාගයකුත් තියෙනවා. ඒකට පාඩම් කරන්නම ඕන. හැබැයි මං පුරුදු වෙලා ඉන්නවා හැම වෙලේම ජංගම දුරකතනෙන් ෆේස්බුක් යන්න. දැන් අපි ආයේ ෆේස්බුක් යන්නෙම නෑ කියලා හිතුවොත් දවස් දෙක තුනක් යනකොට වතුර තිබහ හැදුනා වගේ. හිත ඒකම ඉල්ලනවා. ඒ නිසා අපි හිතනවා අද නෙවෙයි මේ ඉරිදාට මුළු දවසම ෆේස්බුක් යනවා කියලා.  මුළු සතියෙම සාර්ථකව වඩා කරලා එක දවසක් සම්පූර්ණයෙන්ම නිවාඩුවක් ගන්නවා. මේ ක්‍රමේ ඉතාම ප්‍රායෝගිකයි.

එහෙනම් දැන් ඉදන් පටන්ගමු නේද? මේ තියෙන උදාහරණෙ විදිහට තම තමන් කරන වැරැද්දට අදාළව හිතල බලන්න. මාස පහ හයක් යනකොට ඉරිදටත් ඒ වැරැද්ද කරන එක නිකන්ම නතර වෙනවා.