Saturday, March 9, 2019

ඔබේ දරුවත් පාසල් යනවද? එසේනම් මේ ලිපිය වැදගත් වේවි.



පහුගිය දවසක මම ගියා මගේ යාලුවෙකුගේ ගෙදර. එයට ශිෂ්‍යත්වේ ලියන්න ඉන්න දරුවෙකුයි 8 වසරේ වගේ තව දරුවෙකුයි ඉන්නවා. කොහොම හරි කතාව අතරේ මම දැක්කා මේ දරුවෝ දෙන්න පාඩම් කරන පොත් මේසේ. මේසේ උඩ පුදුම පොත් ගොඩක්. මම නිකමට දරුවා කතාවට අල්ලාගෙන මොනාද මෙච්චර තියෙන පොත් කියල බැලුවා. ගොඩක් ඒවා ලියන පොත්. පෙර පාසලේ ඉදන් පොඩි දරුවා 4 වසරට වෙනකල් ලියපු පොත්. තව ලොකු දරුවා 7 වසර වෙනකල් ලියපුවා. ඒ වගේම අච්චු පොත් ගොඩක්. තව පරණ ශිෂ්‍යත්වේ අමතර පොත් වගයක්. ඉස්කෝලේ වයසේ පත්තර. තව නව කතා පොත් දෙක තුනකුත් එතන.

මේ සිද්ධියෙන් පස්සේ මම පොඩ්ඩක් කල්පනාවෙන් ඒ ගැන හොයල බැලුවම අනිත් 90% කගේ ගෙවල් වලත් තත්වේ ඕකම තමයි. ඇත්තටම මෙහෙම පොත් ගොඩ ගැහුවම ළමයි විභාගේ පාස් වෙනවද? පාස් වෙනවා කෙසේ වෙතත් ළමයින්ට පොත් අතෙන් අල්ලන එකත් එපා වෙනවා පොත් ගොඩ දැක්කම. දරුවාට තේරෙන්නේ නෑ මේ තියෙන්නේ වැඩකට නැති පොත් ගොඩක් කියල. එයා හැම වෙලේම කල්පනා කරන්නේ මෙච්චර පොත් ගොඩක් පාඩම් කරලා ඉවර කරන්නේ කොහොමද කියල. ඒක අපි හිතනවට වඩා ලොකු මානසික පීඩනයක්.

පාඩම් කරද්දී අපේ මතකෙට යමක් හරියට ගියාම ආයේ ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ. 4 වසරේ ඉන්න කෙනෙකුට හෝඩි පොත් මොකටද? එයාට ආයේ අකුරු අමතක වෙන්නේ නෑ. 7 වසරේ ඉන්න කෙනාට 6 වසරේ පොත් ඕනද? 6 වසර පාස් නිසානේ එය 7 වසරට ආවේ? ඔයාගේ දරුවාගේ පන්තියේ උගන්නන්නේ විෂයන් 8 යි නම් එයාට ඕන ලියන පොත් 8 යි. අච්චු පොත් 8 යි. එච්චරයි. අනිත් සියලු පොත් අදම කාමරෙන් අයින් කරන්න. බලන්න පොත් 16 ක් කියන්නේ කොච්චර පොඩ්ඩක් ද? ඒ ටික දැක්කම හිතට කොච්චර නිදහසක් දැනෙනවද අනේ මට මේ ටික නේද පාඩම් කරන්න තියෙන්නේ කියලා?

මේ ලිපිය කියවන ඔයා සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන කෙනෙක් නම් මේ වැඩේ තමන්ටම කරගන්න පුළුවන්. මෙසේ පිරෙන්න ගොඩගහගෙන ඉන්න පොත් කන්ද කාමරෙන් එළියට දාල, අත්‍යවශ්‍යම පොත් ටික විතරක් අතට ගත්තම විභාගේ පාස් වෙන්න හිතට අමුතු ධෛර්යයක් එනවා. අනවශ්‍ය දේ ඉවත් කරලා අවශ්‍ය දේ පිළිවෙලට තියාගන්න එක කළමනාකරණයේ වැදගත්ම අංගයක්.

මේ පියවර තව දුරටත් සංවර්ධනය කරලා, මතකේ රැදිලා නැති කරුණු විතරක් වෙනම අරගෙන පාඩම් කරලා, කාලය ඉතුරු කරගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ ගැන අපි පස්සේ වෙනමම ලිපියකින් කතා කරමු.


4 comments:

  1. විශේෂයෙන් ඉගෙනගන්න දුවාදරුවන්ට සහ දෙමාපියන්ට වැදගත් ලිපියක් .

    දිගටම ලියන්න මේ වගේ හරවත් දේ !

    සිංහල බ්ලොග් ලෝකය තවත් ලස්සන වේවී , අර්ථවත් වෙවී .

    ඔබට ජය!

    ReplyDelete
  2. හොඳයි. දිගටම ලියමු

    ReplyDelete