Saturday, March 16, 2019

අරමුණක් ඇතිව පාඩම් කරමු


අපි හැමෝටම හීන තියෙනවා. හැබැයි අපි වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් 99% ම ඒ හීන සැබෑ කරගන්නේ නැතුවම මැරිලා යනවා.   එකට එකම හේතුව හීන හැබෑ කරන සරල ක්‍රම ගැන නොදන්නා කම. ආකර්ෂණ නිතිය කියන්නේ අපිට තියෙන ඕන හීනයක්, සැබෑවක් කරගන්න භාවිත කරන්න පුළුවන් බොහොම ප්‍රභල ක්‍රමයක්. ආකර්ෂණ නීතියෙන් කියන්නේ අපි වැඩිපුර හිතන දේ අපිට ළගා වෙනවා කියන එක. 

උදාහරණයක් විදිහට මම හැම වෙලේම හිතනවානම් මට මෝටර් බයිසිකලයක් ගන්න ඕන කියල, මොනා හරි ක්‍රමේකින් ඒක ගන්න මගක් පෑදෙනවා. අතේ තියෙන රුපියල් සීයෙන් පටන් අරගෙන, ඒ වෙනුවෙන් සල්ලි ටික ටික එකතු කරනකොට අපි නොහිතන විදිහට අපිට අර අරමුණට යන්න උදවු ලැබෙනවා. මේකේ අනිත් පැත්තත් ඒ වගේමයි. අපි පාරේ යන මෝටර් බයිසිකලයක් දිහා බලලා "මට තියෙන වියදම් එක්ක කවදාවත් bike එකක් නම් ගන්න වෙන එකක් නෑ" කියල හිතුවොත් කවදාවත් ඒක ගන්න ලබෙන්නෙම නෑ. ආකර්ෂණ නීතිය ගැන අපි වෙනම ලිපියක ගැඹුරෙන් කතා කරමු. මේ දුන්නේ ඒ ගැන පොඩි අදහසක්. එහෙමනම් පලවෙනි කතන්දෙරේ තමයි, හරියටම අපි හිතන දේම අපිට ළගා වෙනවා. 

දෙවැනි කතන්දරේ තමයි "අරමුණ පැහැදිලි වෙන්න ඕන" කියන එක. අපේ අරමුණ 100% පැහැදිලි වෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට හිතනවා, මට ලොකු ලොකු අරමුණු ගැන හිතන්නත් තහනම් කියල. අපිට ඒ අරමුණු වලට ළගා වෙන්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන හිතන්න කිසි තහනමක් නෑ. අපිට ඕන දෙයක් හිතන්න පුළුවන්. දැන් අපි කලින් ගත්ත මෝටර් බයිසිකලේ උදාහරණේ ගමුකෝ. අපි ගන්න යන මෝටර් බයිසිකලේ මොන පාටද, එකේ ගාන කීයද, පාවිච්චි කරපු එකක්ද නැත්තන් ගන්නේ අළුත් එකක්ද, පාවිච්චි කරපු එකක් නම් එකේ number එක මොන ඉංග්‍රීසි අකුරු එන එකක්ද මේ හැම කරුණක්ම දවස ගානේ එකතු කරන්න ඕන. අපේ අතේ මේ වෙනුවෙන් තියෙන්නේ රුපියල් සීය උනත් අපි දැන් දන්නවා හරියටම ගන්නේ මෙන්න මේක කියල. 

දැන් අපි මේ කතන්දර දෙක අපේ පාඩම් කරන වැඩේට දාන්නයි යන්නේ. සාමාන්‍ය පෙළ ලියල ගෙදර ඉන්න කෙනෙක්ගෙන් අපි ඇහුවොත් උසස් පෙළට කරන්නේ මොනාද කියල ගොඩක් අය කියන්නේ ප්‍රථිපල බලලා එකක් තෝරාගන්නවා කියලා. උසස් පෙළ කරන කෙනෙක්ගෙන් ඇහුවොත් මොන campus එකටද යන්නේ කියල ගොඩක් වෙලාවට කියන්නේ ප්‍රථිපල ආවම යන්න පුළුවන් එකකට යනවා කියලා. එහෙම හරියන්නේ නෑ. අපි හරියටම දැනගන්න ඕන අපේ අරමුණ මොකක්ද කියලා. ඒ අරමුණ විශේෂිත එකක් වෙන්න ඕන. උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. මට ඕන කොහොම හරි  වෛද්‍යවරයෙක් වෙන්න. එහෙම නම් මට පුළුවන් සාමාන්‍ය පෙළ කරනකොටම මගේ අරමුණ හරියට හදාගන්න. පළවෙනියට අපි file එකක් හදාගන්න ඕන.  මේ file එකේ අපි අපේ අරමුණට අදාල සියලු තොරතුරු එකතු කරන්නයි යන්නේ. ඊට පස්සේ දවසට විනාඩි 10ක් වැය කරලා මම යන වෛද්‍ය විද්‍යාලය ගැන මොකක් හරි කරුණක් මේ file එකට එකතු කරන්න. 

පලවෙනි දවසේ මම තීරණය කරනවා මං යන වෛද්‍ය විද්‍යාලය මොකක්ද කියලා.  ලංකාවේ තියෙන වෛද්‍ය විද්‍යාල ලැයිස්තුව අරගෙන බලලා මම තීරණය කරනවා  පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයට යනවා කියල.  දැන් මේ ගැන මට හොයන්න කරුණු ගොඩක් තියෙනවා. පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයට යන්න නම් උසස් පෙළට මොන විෂයන්ද කරන්න ඕන? ඒ විෂයන් ටික කරන්න සාමාන්‍ය පෙළ ලකුණු කියක් ගන්න ඕනද? උසස් පෙළට ලකුණු කියක් ගන්න ඕනද? අවුරුද්දකට කී දෙනෙක් මේ campus එකට ගන්නවද? අපේ ඉස්කෝලේ කවුරු හරි පේරාදෙණිය campus එකේ ඉන්නවද? එතකොට මං යන faculty එකට ලංකාවෙන්ම කියක් ගන්නවද? මේ campus එක සිතියමේ තියෙන්නේ කොතනද? මේ හැම දෙයක්ම දවසට එක කරුණ ගානේ හොයන්න. එකතු කරන්න. තව පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයේ ජායාරුප, පාඨමාලා විස්තර හැම දේම. බොරුවට facebook ගිහින් කලේ කනවා නම් පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ යාලුවෝ ටිකක් හදාගෙන අනිත් වැඩක් නැති අය අයින් කරලා දාන්න. අවුරුදු දෙකක් තිස්සේ අපි ගමන් කරන්නේ එකම එක අරමුණකට. අපේ අරමුණ 100% ක් ම පැහැදිලියි. ඒක ඇතුලේ පැටලිලි නෑ. ඒක ඊතලෙකින් තැන දෙක තුනකට විදින්න බෑ. විදින්න පුළුවන් හරියටම ඉලක්කය බලලා එක තැනකට විතරයි. ඒ ඉලක්කය කොතනද කියල අපි විදින්න කලින් දැනගෙන තියෙන්නම ඕන.

මේ විදිහට කලොත් ඔබ හිතන විශ්ව විද්‍යාලයේ එකේ ඔබ හිතන පීඨයට යන එක මහා ලොකු වැඩක් නෙවෙයි. 

මතක තියාගන්න. නිශ්චිත අරමුණක් හදා ගැනීම කියන්නේ පාඩම් කරන එකේ එක අංගයක් විතරයි. ඒකට මුළු දවසම එහෙම වියදම් කරන්න යන්න එපා. දවසට හරියටම විනාඩි 10 ක් විතරයි.     

ඔබ අම්මෙක් තාත්තෙක් නම් ඔබේ දරුවාව අනාගතේ නිශ්චිත අරමුණකට යොමු කරන්න දරුවට උදවු කරන්න. මේක පොඩි කලේ ඉදන්ම කරන්න පුළුවන්. වැල යන යන අතට මැස්ස ගහලා හරියන්නේ නෑ.  අපිට ඕන තැනට මැස්ස ගහලා වැල ඒ දිගේ යවන්න ඕන. එතකොටයි සාර්ථක වෙන්නේ. 

No comments:

Post a Comment